Sunday, January 13, 2019

කලවානේ වතගොත






හැඳින්වීම

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17 කි. ඉන් විශාලත්වයෙන් වැඩිම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙසින් මෙම කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හැඳින්විය හැකි අතරම, භූමි ප්‍රමාණයෙන් වර්ග කි.මි. 263.84 ක් පමණ වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ විශාලත්වයෙන් හයෙන් එකක් වු මෙම කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 33 කින් යුක්ත වෙයි. ආරම්භයේදී කලවාන ආදායම් පාලක කොට්ඨාශය සඳහා සම්පූර්ණ කුකුලු කෝරළයම අයත් විය.  අනතුරුව අයගම වෙනත් ප්‍රාදේශීය ලේකම්   කොට්ඨාශයක් ලෙස ප්‍රතිසංවිධානය වූයෙන් කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට උඩ පත්තුව හා මැද පත්තුව යන පත්තු දෙක පමණක් අයත් වෙයි.
ජනප්‍රවාදයන් හා පුරාණ ග්‍රාමයන් පිළිබඳව සලකා බැලීමේදී මෙම ප්‍රදේශය ඈත අතීතයේ සිට ජනාවාසව තිබූ බවට සාක්ෂි ඇත.දෙවන රාජසිංහ රජු දවස පරගල නමින් රජවාසල කුකුල් පොරයක් සඳහා ගෙන ගිය කුකුලෙකු අනෙක් කුකුලන් පරදවා ජය ලැබූ බවත්ඉන්පසුව මෙම කෝරළය කුකුල් කෝරළය නමින් ප්‍රසිද්ද වු බවත් ජනප්‍රවාදයේ පවතී.
නුවර යුගයේ  හික්ෂුණී සාසනය පිරිහී ගිය අවධියේ මෙම ප්‍රදේශයේ යම් යම් ස්ථාන වල එවකට සිටි  ගනින්නාන්සේලා සිටි බවට සාක්ෂි ඇත. පන්සල් ගොඩැල්ල ,නනේවෙල , ගනේගොඩ පංසල යන නමින් හැඳින්වෙන ස්ථාන අද ද දැතිය හැකිය.
දකුණේ නෙලුව ,හිනිදුම ,වැනි ස්ථානයන් සමඟ මෙම කෝරලය සම්බන්දකම් පවත්වා ඇති අතර දකුණේ ජනතාව සිංහරාජ වනය හරහා කලවාන රත්නපුර මාර්ගයෙන් සිරිපා වැඳීමට ගිය මං සලකුණු සඳහන් ගැමි කවි අදත් වයස්ගත පුද්ගලයන්ගේ මුඛ පරම්පරාගතව පැවත එනු දැකිය හැකිය.

පිහිටීම
කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවෙන්ද නැගෙනහිරින් ගොඩකවෙල හා කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවෙන්ද දකුණින් සිංහරාජ කඳුවැටිය(දකුණු පළාත් මායිම) හා බටහිරින් අගලවත්ත (බස්නාහිර පළාත් මායිම) හා අයගම ප්‍රාදේශීය කොට්ඨාශ මායිමෙන්ද වටවී ඇත.‍

භූවිෂමතාවය

අඩ තැනිතලා කලාපයට අයත් භූමියකි.මුහුදු මට්ටමේ සිට අඩි 805 ක් පුරා විහිදී ඇත.මෙම කලාපය ඊසාන දෙසින් සබරගමු කඳු ප්‍රදේශය ව්‍යාප්ත වෙයි. සබරගමු කඳු පද්ධතියේම ඈතට විහිදුනු හෙල් වැටි සමූහයක් මෙම ප්‍රදේශය හරහා වැටී ඇත. සබරගමු කඳු පද්ධතියට අනුරූපව වයඹ,ගිණිකොණ, දිශානුගතව විහිදී ඇති හෙල් වැටි කිහිපයක්ද මෙහි දැකිය හැකිය.යක්ගහ කන්ද , රජුවන්ගල , ඉළුබකන්ද ඒ අතර කැපී පෙනේ.
මෙම හෙල් වැටි අතරින් රඹුක ගඟ , දෙල්ගොඩ ගඟ හා වැවගම ගඟ ගලා බසී. රක්වාන කඳු වලින් ආරම්භ වන (සබරගමුව කඳු) රඹුක ගඟ, කොස්වත්ත හරහා ගොස් කුකුළු ගඟට එකතු වෙයි. සිංහරාජ ප්‍රදේශයේ ඉළුබකන්ද ප්‍රදේශයෙන් ආරම්භ වන  දෙල්ගොඩ ගඟ  පනාපොළ , වැද්දගල ,දෙල්ගොඩ හරහා ගොස්  කුකුළු ගඟට එකතු වෙයි. කන්දෙ දොළ ,රජ්ජුරුවත්ත දොළ , කලවාන ඇළ හරහා දොළ පහර කිහිපයක්  රඹුක ගඟ පෝෂණය කරයි.
සිංහරාජ ඉසව්වේ පැලවත්ත ප්‍රදේශයෙන්  ගලා බසින වැවගම ගඟ පිටිගලකන්ද හරහා ගොස් කුකුලේ ගඟට  එක්වෙති.
ශ්‍රී ලංකාවේ භූ උපත සම්බන්ධව විධිමත් පරීක්ෂණ වාර්ථාවක් සැපයූ පේරාදෙණිය සරසවියේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය වරයෙකු වූ කුලරත්නම් මහතා ලංකා භූමිය එකවරම සාගරයෙන් මතුවූ බවත් පසු කාලයේ සිදුවූ ප්‍රාදේශීය භූ චලන නිසා අසමාන භූ රූපන ලක්ෂණ ඇතිවූ බවත් දක්වයි. මෙම භූ චලන නිසා සෙසු මොහොරසහිත කඳු දිය ඇලි වැනි යෞවන භූ රූපන ලක්ෂණ ද තැනිතලා  මිටියාවත් වැනි වෘද්ධ රූප ලක්ෂණද සම්මිශ්‍රිතව එකම කලාපයක දක්නට ලැබෙන බව පෙන්වා දෙන ඔහු මධ්‍යම කඳුකරය කොටස් දෙකකට බෙදන බවත් ඉන් එකක් මධ්‍යම කඳුකරය වන අතර අනෙක සබරගමු රක්වාන කඳුකරය වන බවත් පෙන්වා දෙයි.
මේ අනුව භූ ලක්ෂණ අතින් එකම භූගෝලීය කලාපයක් වන මෙය උතුරේ හා දකුණේ ආවේණික කඳුවැටි වලින් වෙන් වූ අන්තර් කලාපයක් වශයෙන් සැකසී ඇති අතර එම කලාපයට අනුරූපී සංස්කෘතික  ලක්ෂණ අතින්ද වෙන්වූ  ප්‍රදේශයක් ලෙසින් පෙනේ.
රක්වාන කඳුවැටි මධ්‍යම කඳුකරයෙන් වෙන්වන්නේ කළුගඟෙ අතුගංගාවක්වන මේ ගඟ ගලා බසින විභේද නිම්නයෙනි. ලංකා භූගෝලීය විද්‍යාව පිළිබඳ ග්‍රන්තයක් සම්පාදනය කළ එල්.සී.කේ.කුක් මහත්මියද මේ අදහස තහවුරැ කර තිබේ.මෙම බුලුතොට රක්වාන හෙල්වල ගිණිකොණ සිට වයඹ දිගට විහිදී යන දකුණු කෙළවරෙහි අඩි 3000 වඩා උස කඳුවැටි පිහිටා තිබේ ගොන්ගල සූරිය කන්ද බුත්කන්ද හා සිංහරාජය ඉන් කිහිපයකි. මෙම බුලුතොට හෙල් සෙසු කඳුවැටි වලින් වෙන් වන්නේ කළුගඟේම අතු ගංගාවක් වන දෙල්ගොඩ ගං නිම්නයෙනි. දෙල්ගොඩ නිම්නයේ සිට ඇති සෙසු කඳුවැටිද ප්‍රපාතාකාරව බෑවුම් වෙමින් කළුගං මිටියාවත දක්වා විහිදී යයි.

දේශගුණය
උෂ්ණත්වය
නිරිතදිග තෙත් කලාපයේ අන්තර් කොට්ඨාශයට ගැනෙන කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වැඩි උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයකි. මෙහි උෂ්ණත්ව අන්තරය සෙල්සියස් අංශක 18-27ක් අතර වෙයි. වර්ශය පුරා මෙම කොට්ඨාශයේ ඒකාකාරී උෂ්ණත්ව රටාවක් පවතී. දෙසැම්බර්, ජනවාරි මාසවල උෂ්ණත්වය තරමක අවම මට්ටමක පවතී.

වර්ෂාව
වසරකට මාස 09 කට ආසන්න කාලයක් වැසි ලැබෙයි. වසරේ මැද වැඩි වර්ශාපතනයක් ඇත. නිරිතදිග මෝසම් සුළඟින් හා සංවහන වැසි ලැබෙන මෙම ප්‍රදේශයේ මැයි, අගෝස්තු දක්වා  නිරිත දිග මෝසම් වැසි ලැබෙයි. මාර්තු, අප්‍රෙල්, සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාසවල සංවහන වැසි ලැබෙයි. කොට්ඨාශයේ සාමාන්‍ය වර්ශාපතනය මි.මි.1000-2500 අතරය. පැහැදිළි වියලි  ඍතුවක් නොපවතින අතර පෙබරවාරි, අගෝස්තු මාස වියලි කාලගුණයක් පවතී. නිරිතදිග මෝසම් පවතින මැයි මාසයේ වර්ෂාව අධිකව ලැබේ. ඊසාන දිග මෝසම්. කාලයේ වර්ෂාව අඩුය. කලාතුරකින් හෝ නියං සමයක් එලැඹෙන්නේ මෙම මෝසම තුලය.

පස
රත්නපුර භූමිය පරීක්ෂා කිරීමේදී ආග්නේය පාෂාණ ගනයට අයත් චානොකයිට්, කොන්ඩලයිට්, ග්‍රැනයිට් හා ස්පටික පාෂාණ, යන මේවා අඩුවැඩි වශයෙන් පිහිටා ඇත. ස්පටික පාෂාණ ගනයට අයත් මැණික් බහුලය. එසේම ස්පටික පාෂාණ ආශ්‍රිත හටගත් මිණිරන් සඳහා අතීතයේදී මෙහි බහුලව ලැබුනද දැන් එය කර්මාන්තයක්  ලෙසින් නොමැත. කලවාන,දෙල්ගොඩ, වැවගම,වැද්දාගල,පොතුපිටිය ආදීපෙදෙස්වල මිණිරන් ගැන ප්‍රසිද්ධය.
උඩපත්තුවේ බුළුතොට රක්වාන හෙල්වල ගෙවීයාමක් පෙන්වන අතර සෙසු කොටස් සබරගමු කඳුවැටි වලට අයත්වේ.මෙහි මායිම දෙල්ගොඩ නිම්නය වේ.එසේඋවද මෙම බෙදීම් නොසලකා රක්වාන කඳුවැටිය හා කළුගං නිම්නය අතර විහිදීගිය කඳුවැටි අතර පිහිටි දිගටි බිම් තීරයකි.අතීතයේදී මෙය දිග්ගම්පොත නමින් හැඳින්වූයේද ඒ නිසාය. වර් සැතපුම් 214 ½  පමණ වූ මෙම බිම්කඩෙහි දිග සැතපුම් 36 ක් වන අතර පළල සැතපුම් 31/2 සිට 8 දක්වා වෙනස් වේ.උතුරු මායිමේ සිට මුහුදු මට්ටම දක්වා අඩි 1000 වඩා උස් ප්‍රෙද්ශවේ.එය උඩපත්තුවේදී අඩි 3000 සීමාවද ඉක්මවයි.
කඳුවැටි වලට මැදිවූ තැනිතලා බිම් උඩපත්තුවේ රඹුක , පොතුපිටිය යන ගම් වලදී පුලුල්වද මැද පත්තුවේදී, ඊටවඩා තරමක් මහත්වද ඇත. මේ ආශ්‍රතව කුඹුරු ගොවිතැන දක්නට ලැබේ.
උඩරටට අයත් ප්‍රදේශයක් ලෙසින් මෙම ප්‍රදේශය සැලකුවත් භූවිද්‍යත්මකව සලකා බලන කල පහත රට තෙත් කලාපයේ(නිරිත දිග)සුලං මුහුණතේ පිහිටි ප්‍රෙද්ශයක් බැවින් වර්ශාව බහුලවේ . ඒ අනුව සිංහරාජය ආශ්‍රතව කොස්වතු ගඟත් එම අඩවියම උප්පත්තිය කරගත් දෙල්ගොඩ ගඟත්,  සිංහරාජයේ බටහිරින් පටන් ගන්නා වැවගඟත් නවංගොඩදී(විශ්කම්ගොඩ)කුකුළුගඟ බවට පත්ව මැදපත්තුව හරහා ගලාගොස් මඟුරු ගඟට වැටේ.
ආදිකාලීන රබර් වගාව බහුලවූ මෙම ප්‍රදේශ වර්ථමානයේ තේවගාව බවට පරිවර්ථනය වී ඇත. 



1 comment:

  1. Very valuable information. Grate that you could publish it. Congratulations. Thank You

    ReplyDelete

සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2020

ජනවාරි කලවාන ප්‍රදේශයේ අභාවයට යන කලාශිල්ප සම්බන්දයෙන් පිටිගලකන්ද ප්‍රදේශවාසීන් දැනුවක් කිරීමක් සිඳු කිරීම. දිනය-2020/03/14 ...