Monday, January 7, 2019

සබරගමු නැටුම් කලාව



සබරගමුවට ආවේණික සබරගමු නැටුම් කලාව
සබරගමු නැටුම් කලාව වශයෙන් අද අප හඳුන්වන්නේ ශතවර්ෂ 50 ටත් අධික කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට දායාදකර දෙමින් කිසියම් සීමිත පිරිසක් අතර පමණක් රැකුණු අපේ ජාතික උරුමයයි.
වසර පන්දහසක වංශකථා ඉතිහාසයකුත් වසර 2548ක ලිඛිත ඉතිහාසයකුත් ජන්මයෙන්ම උරුම කරගත් ජාතික නැටුම් කලාව කාලයේ පරිනාමයත් සමග විවිධ සංස්කෘතීන් හා ගැටෙමින් පෙලෙමින් සංස්කරණය වෙමින් ජන ජීවිත හා ආබද්ධව විවිධ යාතුකර්ම පසුබිම් කොට ක්‍රමයෙන් සංවර්ධනය වූ අපටම ආවේණික සංස්කෘතික දායාදයක් ලෙස හැඳින්වි හැක. සබරගමු නැටුම් කලාව වශයෙන් අද අපි හඳුන්වන මෙම පැරණි සිහල නැටුම් කලාවේ ඓතිහාසික සංස්කෘතික පසුබිම පිළිබඳ වර්ථමාන උගතුන් හා සෞන්දර්ය අධ්‍යාපන බලධාරීන් දරන ආකල්පමය මතවාද බොහොමයක් මෙම ජාතික උරුමය කිසියම් අව තක්සේරුවක් සඳහා කරනු ලබන ප්‍රයත්නයක් ලෙස හැදින්වීම කළයුතු වේ. මා එසේ ප්‍රකාශකරන්නනේ පැරණි සංහල නැටුම් කලාවේ ඉතිහාසය හා සංස්කෘතික පසුබිම පිළිබඳ ගැඹුරැ අධ්‍යනයක යෙදුනු පුද්ගලයෙකු වශයෙන් හා වසර 45ක් තරම් දීර්ග කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණ අද්දැකීම් ලද්දෙකු වශයෙන් එක්රැස් කරගත් “දත්ත “ අනුසාරයෙනි.

ඒ අනුව සිංහල නැටුම් කලාවේ සාධනීය අංග සහිත ශාස්ත්‍රීය මූලධර්ම තවමත් ප්‍රායෝගිකව ආරක්ෂාවී පවතින්නේ සබරගමු නැටුම් සම්ප්‍රධාය වශයෙන් අද අප හඳුන්වන පැරණි සිංහල නැටුම් ක්‍රමය තුලබව ප්‍රකාශ කළ යුතුය.

තවමත් විධිමත් පර්යේෂණයකට භාජනය නොවූ මෙම ජාතික උරැමය නොයෙකුත් ක්‍රම වලින් ගහන වූවකි. එවැනි මත වාද වලට ගොදුරුකරලීමේ වගකීම සම්පූර්ණයෙන්ම දැරිය යුත්තේ නූතන සෞන්දර්ය විෂය ක්ෂේත්‍රෙ‍යේ බලධාරීන් හා ඔවුන්ගේ අනුගාමික උපදේශකයින් විසිනි.

උඩරට, පහතරට, සබරගමු යන ප්‍රධාන සම්ප්‍රධානාත්‍රයම අපේ ජාතික උරැමයයි. එහි එක් සම්ප්‍රධායක් උසස්ය, තව තව සම්ප්‍රධායක් පහත්ය, එක් සම්ප්‍රධායක් පැරණිය ආදී වශයෙන් කථාකිරීමට බුද්ධිමත් විචාරකයෙකුට අයිතියක් නැත.එහෙත් සිංහල නැටුම් කලාවේ යථාර්තය හෙලි පෙහෙලි කොට අනාගත සුකේෂිත භාවය සඳහා නිවැරදි කොට තැබීම අප කාගේත් යුතුකමකි. එම යුතුකම ඉටුකිරීමට ප්‍රමාණවත් “දත්ත“ හා මූලාශ්‍ර ඇසුරු කිරීමට ලැබුණු දුර්ලබ අවස්ථා ඇගයීමක් වශයෙන් අපේ උරැමයේ අප්‍රකට තොරතුරැ අනාගත පරපුරේ දැනගැනීම සඳහා මෙහි සටහන් කිරීමට මා අදහස් කලෙමි.

දැනට ජාත්‍යන්තර වශයෙන් දියුණුකොටඇති උඩරට වෙස් නැටුම කරළියට පැමිණියේ 1920 න් පසු ශ්‍රී දළදා පෙරහරට වෙස් නැට්ටුවා සම්බන්ද කර ගැනීමෙන් පසුය. දෙල්ගමුවේ රජමහා විහාරයේ සිට මහනුවර දළදා මාලිගාවට වැඩමකළ දන්ත ධාතූන් වහන්සේ උදෙසා කරනලද පෙරහැර පූජා 1926 දක්වාම පෙරහැර න්‍යායික රංගනයෙන් දායකත්වය ලබාදී තිබුනේ සබරගමුව නර්ථන සම්ප්‍රධාය විසිනි. ඒ සඳහාම සකස්වූ විශේෂ නර්ථන සම්ප්‍රධායක් සබරගමු ගුරුපරපුර තුලවිය. 1926දී එවකට දියවඩන නිළමේව සිටි පුංචිබණ්ඩා නුගවෙල මහතා සහ සබරගමු කණ්ඩායම අතර ඇතිවූ මතභේදයක් හේතුවෙන් සබරගමු ගුරු පරපුරු පූජාවෙන් ඉවත්විය.

මඩුවන්වෙළ දිසාව, කලවානේ ශ්‍රී ධර්මාලංකාර අතපත්තු මුදළි, ලොකුබණ්ඩාර, ඇලබට් දෙල්ගොඩ පරපුර යන උසස් යයි සම්මත ගුරුකුල වලට සීමාවී තිබුනු සබරගමු නැටුම අතිශය්න්ම ශාස්ත්‍රීය මූලධර්ම සහිත දෙසිය සොලසක් නෘත්‍යාංගනයන්ගෙන් පරිපූර්ණ නැටුම් ක්‍රමයකි. දළදාපෙරහරින් සබරගමු නැට්ටුවා ඉවත්වූ පසු එම අඩුව පිරවීමට සුදුසු නර්ථන කණ්ඩායමක් සෙංකඩගල නොවීය. මේ හේතුව නිසා පෙරහර කියමන් සහිත නෘත්‍යංග සම්පූර්ණයෙන්ම දළදා පෙරහැරින් ඉවත්ව ගොස් සාමාන්‍ය ජන නැටුම් සහිත ඇසළ උත්සවයක් බවට පරිවර්ථනය විය. මේ හේතුව නිසා කෙසේ හෝ සබරගමු නැටුම් ශාස්ත්‍රීය කොටස හා නෘත්‍යංග විශේෂයෙන්ම වන්නම් නාද මාලා උඩරට නැට්ටුවාට අවශ්‍යවිය.

මෙම කාර්ය සපුරාගැනීමේ වගකීම අල්ගම පරපුර ප්‍රධානව සත්කෝරළය, මොළගොඩ, උඩුනුවර පරපුරැ වලට පැවරිනි. මෙයින් අල්ගම කිරිගනිතා ගුරුතුමා සහ එවකට ළමාවියේ පසුවූ එස්. පනීභාරතයෝ සබරගමු මහ සමන්දේවාලය හරහා කලවාන ගුරුකුල ඇසුරු කරමින් සබරගමු නර්ථණය අභ්‍යාස කළහ. මේ අතර අටකළං කෝරළයේ හිරමඩගම වලවුව ඇසුරුකරමින් 1926 මොළගොඩ අප්පු 1936 උඩුනුවර ආභරණ අප්පු සහ මාදම සිරිසේන යන උඩරට ශිල්පීන්ද 1942 ජෞ.ඊ.සේදමෙන් හා ඌරපල නිළමේ යන ශිල්පීන්ද 1952 උක්කුසාර පළිපාන යන උඩරට ශිල්පීන් සබරගමු නැටුම අධ්‍යනය කරමින් උඩරට නර්ථන සම්ප්‍රධාය සංවර්ධනය සඳහා දායකත්වය දැරීය. මීට සබරගමු ගුරුපරපුරු වලින් ඊ.ඒ.දෙල්ගොඩ, හැරල්ඩ් වේරගම, ගොඩකවෙල බන්දුහාමි, කලවානේ මුදළිහාමි, සන්නස්ගම ඇන්.සිරිබෝහාමි, යන ශිල්පීන් නර්ථණයේ උපදේශකත්වය ඉසිලූ අතර වාදනයෙන් උඩරට මාදන සිරිසේන, පේද්‍රක් ගුරුතුමා, උක්කුසාර පළිපාන යන අයද සබරගමු දවුල් වාදනයෙන් කලවාන අයි.ඩී.රංකිරා, කවුඩුවාවේ ශිල්පා(නිදිමත ගුරා), වැද්දාගල නෝරිස් යන අය උපදේශකත්වය දැරීය. මෙසේ සංස්කරණය කරගත් උඩරට නැටුම් කලාව 1952 වනවිට රජයේ ලලිතකලායතන දක්වා වර්ධනය කරගත්හ.

1954,1958 යන වර්ෂවල තවදුරටත් සංස්කරණය වෙමින් 1962 වර්ශයෙන් ඩබ්.බී.මකුලොලුව, වින්ස්ටන් සෝමපාල වැනි ප්‍රවීන සංගීතඥයන්ගේ මූලිකත්වයෙන් වර්තමානයේ පවතින තත්වයට උඩරට නැටුම් කලාව අනුවර්ථනය කර ගත්හ. මෙම සංස්කරණ වලදී සබරගමු ගුරුමුෂ්ඨි වාදීන් කපටි ශිල්පීන් විසින් ප්‍රකාශ කරන ලද ව්‍යාජ නර්ථණාංග හා ඓතිහාසික තොරතුරු මෙම සංස්කරණයන්හිදී පාදක කොට ගත්හ. එදා ඔවුන් කළ ඒ වරද සෞන්දර්යය අධ්‍යාපන විශය ක්ෂේත්‍රය ගලවා නොදැමිය හැකි පරිදි මුල් බැසගෙන තිබේ. මෙහි යථාර්ථය සමෙකුට ප්‍රායෝගිකව දැනගැනීමට හෝ  අධ්‍යනයකට අවශ්‍ය නම් සබරගමු පළාත්සභාවේ සබරගමු නැටුම් පර්යේෂණ අංශය නිතරම විවෘතව ඇත.(සබරගමු නැටුම් පිළිබඳ පර්යේෂක හා කලාභූෂණ සමිමාන ලාභී ජී.වී අබේරත්න මහතාගේ ලිපියකි)


සබරගමු නැටුම් හා කලවානේ ශිල්පීන්
දේශීය නැටුම් කලාවට උඩරට නැටුම්, පහතරට නැටුම් හා සබරගමු නැටුම් යනුවෙන් තෙවැදෑරැම්ය. ම්න් සබරගමු නැටුම සබරගමුවටම ආවේණික වූ ස්වාදීන නැටුම් විශේෂයක් බවට පිළිගැනේ. මෙහි ආරම්භක ශිල්පියා 18 වන සියවසේ අගභාගයේ විසූ ඓතිහාසික කටුවන මාතර සටනේදී කුකුළු කෝරළයේ සේනාව මෙහෙයවු කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදළිතුමා බව ප්‍රකටය. ඉහත කී සටනේදී පවා ඔහු නැටුම් ශිල්පයේ එන අඩවු, කස්තිරම් උපයෝගී කොටගෙන සටන ජයගත්බව ජනප්‍රවාදයේ ඇත.

පළාබද්දළ ප්‍රතිරාජදේව පිරිවෙන ආශ්‍රිතව වැඩුනු හිමතුරේ නැටුම හා කඩවර ශාන්තිය ප්‍රථමයෙන් හදාළ අතපත්තු මුදළි , වීදාගම හිමියන් විසින් රචිත බලි ශාන්තිකර්ම දඹදෙනි සමයේ සිට පැවතඑන නෘත්‍යංග රාශියක් එක්රැස්කොට සබරගමු නැටුම් පෙළක් සැකසූ බවද දැනගැනීමට ඇත. මෙසේ වර්ධනය වූ සබරගමු නැටුම් කලාව රා.ව.1820 දී පමණ කිරම ධර්මාලංකාර හිමියන්ගේ උපදෙස් මත නයියඩි නැටු හා වන්නම් නැටුම් කිහිපයක් රචනා කරනලදුව, උත්සව නැටුම් සහිත එහි ප්‍රථම සංස්කරණය කලවානේ රාමනායක ආරච්චිලාගේ අප්පුහාමි නැමැති ශිපියෙකු විසින් ප්‍රගුණකොට රා.ව.1872 දී සබරගමු සමන් දේවාලයේ තේවාව සඳහා ඉදිරිපත් කොට ඇත.

ඉන්පසුව ඔහුගේ ශිෂ්‍යවරුන් වන කුරුවිට වස්තුවිදානෙ, කලවානේ ජී.කේ.මුදළිහාමි, තපස්සර මුහන්දිරම්ලාගේ හුරතල්හාමි, ගම්මැද්ද විදානෙලාගේ ඩිංගිරිමහත්තයා, යන ශිල්පීහු සම්ප්‍රධාය ඉදිරියට ගෙන ගියහ. මෙසේ ඇතිවූ සිසු පරපුර 20 වන සියවසේ  මුල්     බාගය වන විට ව්‍යිප්ත විය. ඔවුන් අතර දෙල්ගොඩ මන්තා ගුරුන්නාන්සේ, උඩුගල ගුරුන්නාන්සේ, අරුග්ගොඩ පරම්පරාවේ කැටපත් කුඹුරේ ලොකු අප්පුහාමි, හඟරංගල පී.පී.හරමානිස්, රඹුක පරම්පරාවේ තණබෙල ලොකු අප්පුහාමි, පනහැටගල ලොකුඅප්පුහාමි, ගීකියන කංකානම්ලාගේ පොඩිමහත්තයා, කජුගස්වත්ත පරපුරේ ජෙ.එම්.සිරිසේන, කුකුලේගම ජයවර්ධන ආදීහු වෙති. කෙසේ උවද සබරගමු නැටුමට කිසිඳු උපකාරක ආයතනයක් නැති බැවින් පිරිහීමට ලක්වෙමින් සිටී.

මෙම නැටුම ගොඩනැගී ඇතුතේ මාත්‍රා 5ක නැටුම් පදනම් කොටගෙනය. මෙම මාත්‍රා 5ට අයත් කස්තිරම් තිරුමානම් හා අඩවු වලින් සම්පූර්ණ වන මෙම නැටුම් කලාව කොටස් 4කට බෙදෙන බව පෙනේ. එනම් ආමික උත්සව සම්බන්ද නැටුම්, දෙවියන්ගේ හා නවග්‍රහයන්ගේ පිහිට අපේක්ෂා කරන නැටුම්, යක්ෂයන්ගෙන් සිඳුවන උවදුරු දුරුකරගැනීම සඳහා කෙරෙන ස්තෝත්‍ර හා මංගල උත්සව යනාදිය සඳහා පවත්වන නැටුම් යනුවෙනි.

අවසන් පරම්පරාෙව් ශිල්පීන්
Add caption


Add caption

No comments:

Post a Comment

සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2020

ජනවාරි කලවාන ප්‍රදේශයේ අභාවයට යන කලාශිල්ප සම්බන්දයෙන් පිටිගලකන්ද ප්‍රදේශවාසීන් දැනුවක් කිරීමක් සිඳු කිරීම. දිනය-2020/03/14 ...