Monday, December 31, 2018

අපේ ජාතික සංකේත

අපේ ජාතික සංකේත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡන
රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ පරම බලය හිමි වී ඇත්‍‍තේ රටේ ආණ්ඩුවටයය. වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.
රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.
සිංහයා:නිර්භීතකම
පුන්කලස:සමෘද්ධිය
ඉර සහ හඳ:චිර ජීවනය
ධාන්‍යකරල්:සශ්‍රීකත්වය
ධර්ම චක්‍රය:ධාර්මිකභාවය සහ සාධාරණත්වය
නෙළුම් පෙති:පිවිතුරුබව හා උතුම්බව
රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරු
ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 දී ය. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත නිර්මාණය කලාශූරී මාපලගම විපුලසාර හිමියන්ගේ ය.

ශ්‍රී ලංකා ජාතික කොඩිය (Sri lankan national flag)

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙහි, සිංහල ජාතිය හා සැබැඳි පෞරාණික සංකේතය වූ සිංහයා සහ මෙරට වසන දමිළ සහ මුස්ලිම් ජනතාව අඟවන වර්ණ ඇත. එහි ඇති බෝපත් සතර බුදුදහමේ "සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා, , මුදිතා, උපේක්ඛා හෙවත් ධාර්මික භාවය" නිරූපණය කරයි.
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 
ජාතික කොඩියේ ඇතුළත් සංකේත.
කඩුවක් අතින් ගත් සිංහයා - සිංහල ජාතිය, සිංහල ජනතාවගේ විනයගරුක බව, නිර්භීතකම, අභිමානය, නායකත්වය හා සාධාරණත්වය විදහා දක්වයි.

රතු පාට පසුබිම

-

අභිමානය
බෝපත් සතර -  මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.
තැඹිලි පාට තීරුව - දමිළ ජනතාව
කොළ පාට තිරුව - මුස්ලිම් ජනතාව

ලංකා ජාතික කොඩියේ නිර්මාතෘ කමිටුව

  • ඵස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක (සභාපති)
  • මහාචාර්ය සෙනරත් පරණවිතාන (ලේකම්)
  • ටී. බී. ජයා
  • ජී. ජී.පොන්නම්බලම්
  • ජේ. ආර්.ජයවර්ධන මහතා
  • සර් ලලිත රාජපක්ෂ
  • සර් ජෝන් කොතලාවල මහතා.

 ශ්‍රී ලංකාවේ

කලවානට මායිම්වූ සිංහරාජය



සිංහරාජ ලෝක උරුමය
කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල විශාල බිම් ප්‍රමාණයක් වසා ගනිමින් එහි මායිමට වන්නට පිහිටි මෙය ලෝ උරැමයකි. මෙහි ප්‍රධාන පිවිසුම් මගද  වැටී ඇත්තේ කලවාන ,වැද්දාගල , කුඩව  හරහා වේ. අක්කර 37000 ක් පමණ  භූමිභාගයක් වසාගත් මෙම නොයිදුල් වන පෙත මායාරට හා රුහුණුරට වෙන්කරන මායිමක්සේ අනුරපුර යුගයේදී සලකනු ලැබ ඇත. එසේම පොළොන්නරු යුගයේද මහා පරාක්‍රමබාහු රජ හා මහා විජයබාහු රජු රුහුණට සේනා යැවීමට සිංහරාජය හරහා ඇති කෙටිමාර්ගය භාවිතා කරන්නට ඇතැයි අනුමාන කළ හැක.

මෙහි නම බාවිතා වන්නට ඇත්තේ කවර කලක සිටදැයි පැහැදිළි නැත. එම නම ඇතිවීම පිළිබඳව විවිධ මත පළවී ඇත. අතීතයේ මෙහි ගවරැන්ද,සිංහයන්ද වාසය කරන්නට ඇත. සිංහයන් විසීම නිසා සිංහරාජය විය හැකිබවත් එක් මතයකි. අනෙක් මතය වන්නේ සිංහල රාජය යන අදහසින් සිංහරාජය වූ බවයි. ලන්දේසි හා පෘතුගීසි මුහුදුබඩ පෙදෙස් අල්ලගෙන සිටි කාල වලදී පහත රැටියන් උඩරට සිංහලය යන නමින් හැඳින්වූහ. මෑතක් වන තුරු පස්දුන් කෝරළයේ වැසියන් කුකුළු කෝරළය “සිංහලේ“ නමින් හැඳින්වූහ. ඒ අනුව සිංහල රාජය යන අරුතින් සිංහරාජය ලෙස නම්වූ බව වඩාත් පීළිගත හැක.
ශතවර්ෂ ගනනාවකට අයත් ශකයන් මෙහි ඇත. මිල්ල, වෑවරණ, හල්, මැන්ඩෝරා, කැකුණ, බෙරලිය, ආදී තද අරටුවක් සහිත ගස් වර්ග ඇත. ලංකාවේ හටගන්නා මල් වර්ග 3365 කට අධික සංඛ්‍යාවක් ඇති අතර ඉන් 830 ක් පමණ ලංකාවටම ආවේණික වේ.එයින් 495 ක් සිංහරාජය තුල දැකිය හැක. උඩවැඩියා වර්ග 170 ක් පමණ වන අතර ඉන් 37 ක්ම සිංහරාජයට ආවේණිකය. ඖෂධීය ගුණයෙන් හා කාසිකාර්මික අගටයන් යුත්ශාක රාශියක් මෙහි ඇත. මොර, දිවුල්, රඹුටන්, මෙන්ම වෙනිවැල්, යක්නාරං, කුරුඳු, වල්ගම්මිරිස්, වල් සාදික්කා, එනසාල්, කුඩුමිරිස ඉන් සමහරකි. බරුකොකු, හීන්හොට, කැකිල්ල, ආදී විශේෂ තෘණ වර්ග මාවැල්, තිබ්බොටු වැල්, කුකුළුවැල් ආදී වැල් වර්ග රැසකි. කිතුල්හකුරු හා පැණිකර්මාන්තය මේ අශ්‍රිත විශේෂත්වයක් වන අතර, යොද නවද ගස හා යෝද පුස්වැල මෙහි සුවිශේෂී ලක්ෂණ වෙයි.

විවිධ මත්ස්‍ය වර්ගද, සර්පයින්, සිවුපාවුන් හා කුරුළු විශේෂ රාශියක් සිංහරාජයේ සම්පත් බවට පත්ව ඇත. මෙහි ජීවත්වන මාලු වර්ග 59කින් 11ක් සිංහරාජයේ ජලාශ ආශ්‍රිතව ජීවත්වන අතර ලංකාවට ආවේණිකවූ මාලු වර්ග 10න් 03 ක්ම මෙහි දක්නට ලැබේ. ලංකාවේ ජීවත්වන උභය ජීවීන් 37න් 20 ක් මෙහි දක්නට ඇති අතර ඉන් 10ක් මෙයට ආවේණික සතුන්ය. ලංකාවේ ජීවත්වන සර්ප වර්ග 65න් 16ක් සිංහරාජයේ ඇත. මින් 34ක් ලංකාවට ආවේණික වන අතර සිංහරාජයට පමණක් ආවේණික සර්ප වර්ග ගණන 06කි. ලංකාවේ ජීවත්වන සිවුපා වර්ග 79න් 29ක් සිංහරාජයේ ජීවත් වෙති. ලංකාවට ආවේණික 38න් 15 ක්ම මෙම වනයට සීමාවේ. ලංකාවේ වසන පක්ෂීන් 384න් 147ක් මෙහි වෙසෙන අතර ලංකාවට ආවේණික පක්ෂීන් 20න් 18ක් මෙහි සිටිති. කැහිබෙල්ලා, වතුරමල් කොකා, සිංහරාජයට ආවේණිකය. ෂීරපායී සත්ව විශේෂ 85න් 39ක් සිංහරාජයේ වෙසෙති. ඉන්12ක් ලංකාවට ආවේණිකය. ඉන් 06ක් දක්නට ලැබෙන්නේ සංහරාජයේ පමණි. තවමත් හඳුනා නොගත් සත්ව හා ශාක විශේෂ සිංහරාජයේ පවතින බවට අදහස් දරයි. මදුරු වර්ග 36න් 16ක්ද, සමනල වර්ග 40ක් පමණද, සිංහරාජයට ආවේණික බව සොයාගෙන ඇත. වළහා. තිත්මුවා, මොණරා, වැලිපොළඟා, කිඹුලා, තලගොයා, ආදීන් පමණක් සිංහරාජයේ දක්නට නොලැබේ.

සිංහරාජ වන භූමියේ තෙතමනය රඳාගැනීමට ඉවහල් වන තුරුවියන් ඊට යටින් ඇති ශාකයනුත් නිසා පස සංරක්ෂණය වීම මීට ආවේනික සතුන් හා ශාක වර්ගයන්ට ඉවහල් වෙයි. දැනට මෙය විදේශිකයන්ගේ මෙන්ම, දේශීය පර්යේෂකයන්ගේ අධ්‍යන කටයුතු වලට තෝතැන්නකි. 1971 දී තුනීලෑලි සංස්ථාව සඳහා සිංහරාජයේ දැව කැපීම ආරම්භ වුවද දේශීය හා විදේශීය පරිසර සහ විවිධ සංවිධාන වල විරෝධය නිසා එය වැලකින. 1978 දී රක්ෂිත වනයක් ලෙස ප්‍රකාශයට පත්විය.
1988 දී එය ලංකාවේ. ජාතික උරුම භූමියක් ලෙස රජය මගින් ප්‍රකාශයට පත්වූ අතර 1989දී ලෝකඋරුම ලේඛණයට ඇතුලත් ලංකාවේ එකම වනාන්තරය බවට පත්විය.





 













Sunday, December 30, 2018

කලවානේ ඓතිහාසික ස්ථාන

කලවානේ ඓතිහාසික ස්ථාන

අරුග්ගොඩ ශ්‍රී පත්තිනි දේවාලය
අරුග්ගොඩ දේවාලෙයේ කපු පරපුර පහත පරිදි වෙයි.
රා.ව.1440 මැණික් බණ්ඩාර කපු නිළමේ(අන්වර්ථ නාමය හිටි හාමි වේ)
රා.ව.1485 කලුබණ්ඩාර කපු නිළමේ
රා.ව.1527 නීලවංශ කපුරාළ
රා.ව.1575 බණ්ඩි කපුරාළ(අන්වර්ථ නාමයකි)
රා.ව.1613 මුදළිබණ්ඩාර කපුරාළ
රා.ව.1646 දෙල්ගොඩ විජේතුංග  අතපත්තු මුදළි(11 රාජසිංහ රජුගේ සන්නස නින්දගම)
1710 ඉබිකපුරාළ(අන්වර්ථ නාමයකි)
1764 පරංගි කපුරාළ(අන්වර්ථ නාමයකි)
1808 ඒ.කේ.රත්රංහාමි
1877 ඒ.කේ.ලොකුඅප්පුහාමි
1937 ඒ.කේ.පොඩි අප්පුහාමි
1982 ඒ.කේ.ගුණවර්ධන
1987 ඒ.කේ.සුනිල් ජයතිස්ස

මහා පරාක්‍රමබාහු රජුගේ පියාවන මානාභරණ රජු මෙහි සිටි බවට මතයක් ඇත. ලංකාවේ ඇති පත්තිනි දේවාල අතුරින් පත්තිනි දෙවියන්ගේ ආභරණ ඉබේ පහලවූ එකම ස්ථානය ලෙසින් මෙම ස්ථානය සැලකේ. 1440 දී මෙම පහල දේවාලය ඉඳිවී ඇති අතර  මීට ඉහලාන් ඇති කැලෑව තුල ඇති ගල්ලෙන ඉපැරණි දේවාලය ලෙසින් සැලකේ. මේ පිළිබඳව සඳහන් නෘත්‍යනුබෝදාවලිය නැමැති පුස්කොලපොතක් පිළිබඳව සඳහන්වේ. වාර්ශික ගී මඩු උත්සවයක් පැවැත්වෙන අතර සබරගමු නැටුම් පරපුරක්ද ඒ හා සමග ආබද්ධවි ඇත.
ශ්‍රී ගංගාරාමය-පිටිගලකන්ද


1898 සඳහන් ගල් ටැඹක් සහ ඒමත  පිහිටි ගල් පුවරැවක් දක්නට ලැබෙන අතර, එම ගල් පුවරැවෙහි යොදාඇති සටහන් හඳුනාගත නොහැක. මේ පිළිබඳව කිසිඳු විස්තරයක් අනාවරණයනෛාවේ.





නෙරවන ගල්ලෙන


ආචාර්ය පී.ඊ.පී. දැරණියගල හා ශිරාන් දැරණියගල යන විද්වතුන්ගේ කරුණු අනුව සබරගමුව වසර 30000 කට වඩා පැරණි සංස්කෘතියකට අයත් භූමියකි.මෙයින් රත්නපුර සංස්කෘතියට අයත් නටඹුන් කුකුලේගම නෙරවන ගල්ලෙනෙන් මතුවී ඇත. ඒවා රත්නපුර ජාතික කෟතුකාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ අනුව මෙහි ඉතිහාසය ආදී ශිලායුගය දක්වා විහිදේ. මෙහිදී කෞතුකාගාරයේ තැන්පත් ගල් මෙවලම් අතර ආදවාසීන් පාවිච්චි කළ ගල් ආයුධ තිරිවානා ගල් පතුරැ සහ සත්ව ඇටකටු දියබෙලි කටු ආදියද වෙයි  . ඊට අමතරව මෙම ගල්ලෙනෙන් සොයාගත් සායම් වර්ගද ගල් විදිනලද ගල්ද ඇත. මේවා ගල්ගුහාවේ අඩි 2-4 අතර කැනීමේදී ලබාගත් බව සදහන්වේ.  

ශ්‍රී අභිනවාරාමය-වැවගම
වසර 100 කට වඩා වැඩි ඉතිහාසයක් පෙනෙන බුදුමැදුරක් හා නටඹුන් වෙමින් පවතින චිත්‍රත් මෙහි දක්තට ලැබේ.  මෙහි ඉතිහාසය පිළිබඳව තොරතුරු අනාවරණය නොවේ.
Add caption

Add caption


ශ්‍රී විජයරාම පුරාණ ගල්ලෙන් විහාරය

වසර 100 කට ආසන්න වෙමින් පවතිතැයි අනුමාන කෙරෙන මෙම ගල්ලෙන තුල පිහිටි විහාරයේ ගල් බිත්ති මත සිතුවම් දක්නට ලැබේ.

කිරාවැව
උතුරු වැද්දාගල ප්‍රදේශයේ , කලවාන වැද්දාගල මහා මාර්ගය අසල පිහිටි කිරා නැමැත්තෙකු විසින් තනි උත්සාහයෙන් ඉදිකරන්නට යෙදුන් කුඩා ජලාශයකි. ඒ අසල පිහිටි කුඹුරු යාය පෝෂණය කිරීම සඳහා සකස් කරන ලද කුඩා වාරි පද්ධතියකින්ද සමනිවිත වේ.


Friday, December 21, 2018

කලවානේ ග්‍රාම නාම

කලවානේ ග්‍රාම නාම

ග්‍රාමනාම සකස්වීම
කෝපිකෑල්ල
ඉංග්‍රිසීන් විසින් කෝපි වගාව ආරම්භ කළ සමයේ කුකුළු කෝරළය තුල මුලින්ම කෝපි වගා කළ ප්‍රාදේශය ලෙස මෙය සැලකේ. 19 වන සියවසේ ඇතවූ කොල රෝගයකින් වගාව විනාශ වුවද  කෝපිකෑල්ල නාමය ඉතිරිවූ බව පෙනේ.

බෝටියාතැන්න හා දොලේකන්ද
මෙම ග්‍රාමයන් පිළිබඳව පුරාවෘත සඳහන්ව නැත. බෝටියා නැමැති තුඩා ගෙඩි වර්ගය සහිත තැනිතලාවක් නිසා බෝටියාතැන්න නම ලැබූ බවත්, දොළක් ඇසුරු කොටගෙන(දෙල+කන්ද)දොලේකන්ද නම යෙදුනු බවත් සිතිය හැක.

ලියනෙක්කන්ද
ලියන+කන්ද  නමින් හැදින්වී පසුව ලියනෙක්කන්ද වූ බව සිතිය හැක. ඈත කාලයේ සිට ලේකම් වරැන් ,ලියන්නන් විසූ හෙයින් මේ නම යෙදෙන්නට පුලුවන. මෑත අතීතයේ දළරකුසු සන්දේශය නැමැති ග්‍රන්තය රචනා කළ ලියනෙක්කන්දේ ධම්මපාල හිමි නැමැති භික්ෂූන් වහන්සේ නමක් ගැන අසන්නට ලැබේ.

කෝන්ගහකන්ද
කුඩා ගම්මානයකි. කෝන් නැමැති ගස් වර්ගය නිසා මෙම ගමට නම යෙදී ඇති බව පෙනේ.

මුදලික්කන්ද
මුදලිවරයෙකු මුල්කොටගත් නමක් ව‍ශයෙන් සැලකිය හැක. ඔනමුත් උඩපත්තුවේ මුදලිවරැන් ගෙන් නවර මුදලිවරයා එයට සම්බන්ඳ දැයි කිව නොහැක.

තණබෙල
බොහෝ තණ පඳුරැ බහුලව පැවතීම නිසා තණවෙල පසුව තණබෙල වූවායයි එක් මතයකි.

කෙසෙල්වත්ත
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රජ දවස රජවාසලට කෙසෙල් කැන් සපයන ලද්දේ මෙම ප්‍රදේශයෙන් බව කියැවේ. උඩ පත්තවේ වැද්දාගල හැරැනුවි මුදලිවරයෙකු ගැන සඳහන් වන්නේ මෙහිය. කටුවන මාතර සටනේදී උඩපත්කතුවෙන් ගිය පිරිස භාරව කෙසෙල්වත්තේමුදළි ක්‍රියාකර ඇත.




කැකිල්ල පිටිය.
කැකිල්ල නැමැති වල් පැලෑටි වර්ගය බහුලව පැවතීම නිසා කැකිල්ලපිටිය විය. මෙයද පැරණි ගම්මානයක් බව සබරගමු ලේකම් මිටියේ කැකිල්ලපිටියේ ආරච්චි නැමැති නිළධාරයෙකු ගැන සඳහන් වීමෙන් පෙනේ.

බෝපිටිය
මෙම ප්‍රදේශයේ තැනිතලා බොහෝ පිටි පැවති බැවින් මේ නම ව්‍යවහාර වූ බවද, එසේම බෝ ගසක් සහිත පිටියක් පැවති බැවින් මේ නම ව්‍යවහාර වූ බවද, මත කිහිපයකි. බෝපිටිය ගැන පැරණි ලේකම් මිටියේද සඳහන්වේ. එහි බෝපිටියගම ආරච්චි නැමැති පුද්ගලයෙකු විසූ බවත් ඔහුගේ පරපුර බෝපිටියෙ ගම ආරච්චියැයි ව්‍යවහාර ව්‍යවහාර කළ බව සැලකේ.

රඹුක
ගඟ දෙපස ඇති රඹුක් ගස් නිසා මෙම නම ඇතිවූ බව සැලකේ.උඩපත්තුවේ විසූ ආරච්චි වරුන්ගෙන් පස් දෙනෙකුම වාසය කර ඇත්තේ රඹුක වසම තුල බව සබරගමු ලේකම් මිටියේ සඳහන් වේ.

අරුග්ගොඩ
ඓතිහාසික අරුග්ගොඩ පත්තිනි දේවාලය මෙම ප්‍රදේශයේ පිහිටි අතර එහි ආරම්භය මානාභරණ රජුගේ පාලන යුගය බව පැවසේ.ඉහල වනාන්තරය තුල ඇති ආරුක්කුවක හැඩැති ගල්ලෙනක් තුල මෙම දේවාලය ආරම්භ කර ඇත. ඒ අනුව ආරුක්කු ගොඩ යන නම භාවිතයට ගෙන ඇති බවත් පසුව එය අරුග්ගොඩනම්වූ බවත් සැලකේ.
අරුක් නැමැති ගස් බහුලව පැවතීම නිසා මේ නම යෙදුනු බවට තවත් මතයකි.
තවත් මතයක් වන්නේ අරා නැමැති මාලුවෙකු ගොඩට පැමිණීම පිළිබඳ අද්භූත  කථාවයි.අතීතයේදී අරා නැමැති මාග්කු පිට පත්තිනි දෙවියන්ගේ රන් සළඹක් ගල් ගුහාවට වැඩමවා තිබූ බවත්, එය දැනගත් එක් බැතිමතෙක්  ඊට පුද සත්කාර පවත්වා කපුවෙකු වී දේවාලයක් ඉඳිකළ බවත් පැවසේ. පසුව මෙහි කපු පරපුරක් ඇතිවූ අතර කෙසෙල්වත්තේ ජයසුන්දර පරපුරේ අයෙකු  බස්නායක නිලය දැරූ බවද දැන ගැනීමට ඇත.

කත්ලාන
මීට වසර 150කට පමණ පෙර රක්වාන දෙනියාය ආදී ප්‍රදේශවලට ගමන් මාර්ගය වැටී තිබුනේ මේ හරහාය. එබැවින් එමගින් ගමන්ගත් මිනිසුන් ගිමන් නිවීම සඳහා ගෙනගිය කත් බිමතබා නැවතීගත් ස්ථානය කත්ලෑම වූ අතර පසුව කත්ලාන වූ බවට මතයක් ඇත. මෙම ප්‍රදේශයේ අම්බලමක්ද තිබී ඇත.
එසේම කත් බැඳීමට භාවිතා කරන නැමෙන සුලු ලීය තැන්පත් කරන තැන පැදුරු ආන මෙනි.ඒ මෙම ස්ථානයේ එම කත් ලී තැන්පත් කර ඇත. එබැවින් කත්ආන කත්ලාන වූ බවද සැලකේ.
මේ හැර බොහෝ කටු කිතුල් තිබූ බැවින් කටුකිතුලාන පසුව කත්ලාන වූ බවටද පැවසේ.

ඉළුඹකන්ද
මිනිසෙකුගේ විළුඹක හැඩයේ විශාල  ගලක් මෙම ගමේ කන්දක පිහිටි නිසා මෙම ගම විළුඹෙකන්ද නමින් තිබී පසුව ඉළු‍ඹකන්ද වී යැයි මතයක් ඇත. දැනට බෝ කාලයකට ඉහත මෙම ගමේ නායයාමක් සිඳුව ඇත. එබැවින් ගිලුනු කන්ද -ඉළුඹකන්ද වී යැයිද තවත් මතයකි. මෙම දම සම්පූර්ණයෙන්ම නායයාමේදී  කුකුලේගම මගුල් ගෙදරක පැමිණි අඹුසැමි යුවලක් පමණක් ඉතිරිවූ අතර ඔවුන්ගෙන් නැවත මේ ගමේ පරම්පරාවක් ඇතිවූ බවද දැක්වේ. කරසිංහ ආරච්චිලාගේ ඔවුන්ගේ පෙළපත් නාමය මේ ගමේ සියළු දෙනාට යෙදී තිබේ. මේ අසලම ඉළුඹෙගෙදර නමින් ගම් කොටසක්ද ඇත. මෙහි පදිංචිව ඇත්තේ ඉළුඹකන්දෙන් පැමීණි පිරිසක් බව සඳහන්වේ.
සිංහරාජ වනයේ නැගෙනහිර මායිමේ බෙරගල කන්ද පිහිටා ඇත. එහි සිඳුවූ නායයාමකින් ඉළුඹකන්දට යන පාර අවහිරවී ජලය පිරී ගිල්ම ගසා තිබූ බව තවත් ජනප්‍රවාදයකි. එසේ ගිල්මගසා තිබුණු ප්‍රාදේශය ගිල්ම+කන්ද  වී පසුව ඉළුඹකන්ද වූ බවටද විශ්වාශ කෙරේ.
ඉළුඹ යන්න උල්පත් ජලයටද ව්‍යවහාර කෙරේ. ඉනූ+අඹ(උනනලද ජලය) පසුව ඉනුඹ වී පසුව ඉළුඹ වීමටද හැකිය. ඒ අනුව කන්දක් ආශ්‍රිතවඋනන ලද දිය උල්පත් සහිත ප්‍රදේශය ඉළුඹකන්ද වූවාද විය හැකිය.

පොතුපිටිය
ලන්දේසි පාලන සමයේදී සිංරාජය හා වෙනත් කැලෑවලින් තලාගන්නා ලද කුරුඳු පොතු වේලූ පිටිය මෙම ප්‍රදේශයේ පිහිටි බැවින් පොතුපිටිය නම් වූ බැවු කියවේ. තවද පොත්ගුල් විහාරයේ සිට ගෙනගිය පොත් මිටියක් දමාගිය පෙදෙසක් බැවින් මෙම නම යෙදුනු බවද සැලකේ.

පනාපොල
වීදියබණ්ඩාර සෙනවියාගේ සැරයටි පහරකින් සිහිනැතිවූ පරංගි හේවායෙකු කැලෑවේ වැටී සිටියදී ඔහු මියගිය බව සිතූ දඩයමේ ගිය දෙදෙනෙතු ඔහුගේ ගෙලට වැලක් දමා භූමිදානයට සැරසී ඇත. එවිට සිහියලද ඔහු දුවන්නට විය. එසේ මියගියේ යැයි සිතූ සෙබලාට පණ ආ ප්‍රදේශය පනාපොල වූ බවට පැවසේ.
කොස්ගුලන
කුඩාගමක්වූ මෙය ගුලනක කොස්ගස් බහුලව පැවතීම නිසා මෙම නම භාවිතා විය.

රණොක්කන්ද
පෙර රජ දවස රණකාමී යුධ බටයෙකු පදිංචිව සිටිබව කියැවේ. හෙතෙම රණකාමී හෙවත් රණොක්ගේ කියා භාවිතා වූ අතර  මෙම ගම්මානයේ නම මේ අනුව සකස් වූ බව සැලකේ.


හපුගොඩ
සපුගස් බහුලව තිබූ නිසා මෙම නම භාවිතා වන බව කියනු ලැබේ. මීට අමතරව  රාජසිංහ රජු  දවස කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදලිතුමාට දුන් නින්දගමට මෙම ප්‍රදේශයද අයත් වන අතර මොහු සබරගමු නාට ය හා ගුප්ත විද්‍යාධරයෙකු බවට ප්‍රකටය. දිනක් හපුගොඩ පැවති දෙහි මඩුවකට ගියවිට පරංගි රැලකට මැදිවූ බවද තොවිලය අවසන් වන විට ඔවුන් සියළු දෙනා පිල්ලි යවා විනාශ කළ බවද ජන වහරේ පවතී. මෙලෙස පරංගි හපකළ ප්‍රදේශය හපුගොඩ වූ බවද කියවේ.

දොඩම්මුළුව
මෙය දොඩම්මුළුව ලෙසින් හඳුන්වන්නට ඇත්තේ දොඩම්ගස් බහුලව පැවති පෙදෙසක් නිසා විය යුතුය.

ගඟලගමුව
ගඟ+ලඟ+ගම යන්න ගඟලගම, පසුව ගඟලගමුව වන්නට ඇත.

දුනුමඩල වත්ත
දුන්නක් මුල්කොටගත් පුවතක් මේ පසුපස වන්නට ඇත.  දුනු තැනූ කාර්මිකයන්ගේ එකතුවක් ලෙසින්ද සිතිය හැක. එනම් යකද සුලභ වු මෙම ප්‍රදේශයේ යුධ කටයුතු සඳහා විවිධ ආයුධ තැනූ බවත්, දුනුතැනූ වත්තක් සහිත ප්‍රදේශයක් බවත් සිතිය හැකිය.

කහන්තැන්න.
කහ බහුල වශයෙන් වගාකළ  තැනිතලාව කහතැන්න වී පසුව කහන් තැන්න වූ බවට සිතිය හැක.

කුඩව
වළගම්බා රජතුමා සොලීන් සමග කරන ලද සටනින්  පැරදී නැවත සේනා සංවිධානය කර ගැනීමට තෙත් කලාපයට පළා ආවේය. එසේ පළා විත් කුඩව ගමෙහි රජුවත්ත ලෙනෙහි සැඟව සිට ඇත. රජු පැමිණ ඇත්තේ කුඩා පාරකිනි. එම මාර්ගය රජුගේ මුතු කුඩය ඉහලාගෙන යාමටවත් තරම් ප්‍රමාණවත් නැත. එබැවින් රජතුමා මෙම මාර්ගය ඉතා කුඩා යයි ප්‍රකාශකර ඇත. එය පදනම් කරගෙන මෙම ප්‍රදේශය කුඩාව යයිද, පසුව එය කුඩව යයිද ව්‍යවහාර විය.
තවද සිංහරාජය හරහා දකුණු පළාතය යන මාර්ගය වැටී ඇත්තේ කුඩව ගම හරහාය. එය කුඩා මාර්ගයක් බැවින් මෙයට කුඩව යන යෙදුනා විය හැකිය.
තවද කුඩාගේ ආරච්චි නමින් පුද්ගලයෙකු ගැන සබරගමු ලේකම් මිටියේ සඳහන්වේ. ඔහුගේ පරපුර කුඩාගේ ආරච්චි විය යුතු අතර දැනට කුඩා ආරච්චි නැමැති පරම්පරාවක් අවට ගම්වල වෙසේ. කුඩාගේ යන්න පසුව කුඩා යනුවෙන් භාවිතාවන්නට ඇත.

පිටැලේ.
අතීතයේ මෙම ගම්මානය සිංහරාජ වනය හා බැඳි ජන ශූන්‍ය ගම්මානයකි. එම නිසා මෙම අතීතයේ මිනිසුන් මෙම ප්‍රදේශය  හඳුන්වා ඇත්තේ එපිට කැලේයනුවෙනි. කාලයක් යන විට මෙය පිටකැලේ ලෙසින් භාවිතාවට පැමිණ ඇත.

මියනපලාව
අතීතයේ මෙම ප්‍රදේශයේ මියන නැමැති පලා වර්ගය බහුලව තිබී ඇති අතර එම නිසා මෙම ප්‍රදේශය මේ නම යෙදී ඇත. දුම්බර විහාරගම පිළිබඳ පුවතේ මියනකොල ගැන සඳහන් වේ.

වැද්දාගල
ආචාර්ය නන්දදේව විජේසේකර මහතා විසින් රචිත ලංකා ජනතාව නැමැති ග්‍රන්තයෙහි මේ පිළිබඳව කරුනු සඳහන් වේ. ඒ අනුව ටිජය රජු විසින් නෙරපනු ලැබූ කුවේනි සහ ඇගේ දරැවන් පලාවිත් විසුවේ සබරගමුවේ බවත්, වැද්දාගල ප්‍රදේශයේදී මෙහි විසූ අන්තිම වැද්දා මරා දැමූ බවත් සඳහන් කර ඇත. එම වැද්ද් ගලකට තබා දඞුගසා මරදැමු අතර , ගලක් විද වැද්දා දඬු ගැසූ නිසාත් වැද්දාගල නම ඇතිවූ බව කායැවේ. ඒ බව
 
වැද්දා කළ දරුණු කම් බැරුව ඉවසු             
විද්දා ගලක් දඬු ගැසු මැරෙනා තුරු               
ලද්දා එයින් නම පවසති දන සැවො             
වැද්දාගල හොඳයි සුව පහසු ඇති ග              

මෙම වැද්දා දඬුගැසූ ගල රා.ව.1953 වර්ශයේදී ගඟ හරහා පාලමක් දැමීමෙන් කඩා දැමූ බව ගම්වාසීහු කියති.මෙම ප්‍රදේශයේ මෑතක් වන තුරැම ආදිවාසීහු ජීවත් වූ බවත්, අද ඔවුන් නැතත් ඔවුන්ගේ දේහ ලක්ෂණ දැක්වෙන කොටස් කඳුකරයේ වෙනෙ බවත්, ඉහත සඳහන් ග්‍රන්තයේ සඳහන්වේ.සංහල රජ දවස උඩපත්තුවේ ජීවත්වූ මුදළිවරැ සිවු දෙනාගෙන් තිනෛකුම මෙහි වාසය කරඇති බව  ලේකම් මිටියේ දැක්වේ. එනම් වැද්දාගල දසනායක මුදළි, වැද්දාගල විජේසූරිය මුදළි,  දොඩම්මුළුවේ දසනායක මුදළි යන තිදෙනායි.

කුඩුමීරිය
කුඩුමිරිස නැමැති කටු සහිත ඖෂධීය ශාකය මෙම ප්‍රදේශයේ බහුලව වැවුනු නිසා කුඩුමිරිස යන්න පසුව කුඩුමීරිය වූවා විය හැකිය.

බුත්කන්ද
බුදුකන්ද බුත්කන්ද වූවායයි මතයක් පවතී. ආගමික සම්බන්ධ තාවයක් මේ හා බැඳී පැවති බවට සාදක නැත.


බලවතුකන්ද
යම්කිසි බලවත් අයෙකුගේ කන්දක්(බලවත්+කන්ද) බලවතුකන්ද වන්නට ඇතැයි  සිතිය හැක.

හඳුවැල්කන්ද
හඳුවලගේ යන පරපුරේ අය පදිංචි නිසා මේ නම ලැබුනු බව සැලකේ.

තෛලමුල්ල
යම් තෙල් වර්ගයක් මුල්කොට බිහිවූ නමක් බව සිතිය හැක.

සුදුවැලිපොත
සුදුවැලි සහිත තලාවක් නිසා මේ නම් ව්‍යවහාර වු බව සිතිය හැක.

නල්ලගස් හේන.
නෙල්ලිගස්හේන පසුව නල්ලගස්හේන වූවා විය හැකිය.

දෙල්ගොඩ
මෙම ප්‍රදේශයේ ‍විජේතුංග අතපත්තු රාළහාමිල්ලාගේ පේමවතී දෙල්ගොඩ හා කමලාවතී දෙල්ගොඩ යන අය පදින්චිව සිටී.මොවුන්ගේ ආතා‍විජේතුංග අතපත්තු රාළහාමිල්ලාගේ පුංචිබණ්ඩා දෙල්ගොඩවේ. ඔහුගේ පියා වන මද්දුමබණ්ඩාර දෙල්ගොඩ මෙම ප්‍රදේශය පාලනයට පැමිණි අයෙකි. මෙහුගේ සහය රාජකාරි කිරීමට කණ්ඩායම් දෙල්ගොඩ මන්නලාගේ, දෙල්ගොඩ රදාගේ, දෙල්ගොඩ හල්පෙලාගේ නමින් පරම්පරා ඇත. මේ අනුව මෙම ප්‍රදේශයේ නම සකස් වන්නට ඇතැයි සිතිය හැක.
සිංහල දෙල් හෙවත් බැදිදෙල් බහුල ප්‍රදේශයක් මෙලෙස හැඳින් වූ බවද සිතිය හැක.
තවද මෙම ග්‍රාමය කුකුලු කෝරළයේ ඉපැරණි ගම් කිහිපයෙන් එකකි. ඇතමුන්ගේ විශ්වාසය අනුව මෙහි ඉතිහාසය දේවානම් පියතිස්ස රජ කාලය දක්වා විහිදේ. ශ්‍රී හමා බෝධිය ලක්දිවට වැඩම කරවන ඇවස්ථාවේ  දඹදිවින් පැමිණි බමුණු පරපුරේ විජයාරාම බ්‍රාහ්මණරාළ නැමැති අයෙකුට දෙල්ගොඩ ප්‍රදේශය මුලින්ම ප්‍රධානය නළ බව ජනප්‍රවාදයේ පවතතතතති. නැවත දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේ දෙල්ගොඩ විසූ අයෙකු සිංහරාජ මාර්ගයේ සිටි මිනීකන දිවියෙකු මරා දැමූ නිසා ඔහුට දෙල්ගොඩ විජයතුංග අතපත්තු මුදියන්සේ යන පටබැඳි නාමය ද ප්‍රධානය කර ඇති අතර ඔහු රජුගේ පුරෝහිත තනතුරට පත්කරගෙන ඇති බවද දෙල්ගොඩ තඹ සන්නසෙහි දැක්වේ. දෙවන වරටත් දෙල්ගොඩ ගම විජයරාම බමුණාගේ නැගනියගේ පුතෙකු වූ විජේතුංග මුදලියාට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රධානය කළ බවටද සන්නසක් ඇත. සපරගමු ලේකම් මිටියේද දෙල්ගොඩ අතපත්තු අප්පුහාමි නැමැති මුදලිවරයෙකු ගැන සඳහන් වේ.
වැවගම
සිංහරාජයට මායිම්ව පැවති මෙම ගම්මානය හරහා කොක්කාවිට ගඟ ගලා යන අතර හරහා තිබූ කල වැලක් කල්යාමේදී මහත්වී ගං ‍ජලය බැසයාමට බාධායක් වූ අතර ඒ අනුව වැවක් මෙන් ජලය පිරී තිබූ බව සැලකේ. ඒ අනුව මෙම නම ව්‍යවහාරවූ අතර කල්යාමේදී මෙම වැල කපා ඉවත්කර ජලය බැසයාමට සලස්වා ඇති අතර මේ දක්වා එම නම ව්‍යවහාරවේ.

කොක්කාවිට
කොකුන් සිටින ඕවිට(කොක්+ඕවිට) කොක්කාවිට වූ බවද , මේ හැර එක්තරා මහළු මිනිසෙකු පයින් යාමට නොහැකි අවස්ථාවක කොක්ක ගසාගෙන යන විටදී(කොක්කා+ඒවිට) ඕවිටකදී වැටුනු බවත් එයින් කොක්කාවිට වූ බවද සැලකේ. රාජ සම්මාන ලත් රණසිංහ ලේකම්ගේ නැමැති පරපුරක් ගැන මේ ගමින් අසන්නට තිබේ. එසේම එක්තරා ජන කවියක් අනුව  ඇතුන්ද අයත්ව සිටි කොක්කාවිට මුහන්දිරම් කෙනෙකු ගැන අසන්නට තිබේ.
කොක්කිවිට ගම මුහන්දිරම් ඇති බැන්දෙව්වයි කී ඇත් පැටි         යා
රුපියල් දාහක් ගැනලා දීලත් ලබා ගන්න බැරිවූ සැටි                   යා
සාපය වැදිලා වතුර පොදක්වත් බොන්නේ නැතිවම සිටි සැටි       යා
ඉරිදා දවසේ එම වරුවේදී නැසී ගියැයි මේ ඇත් පැටි                    යා

බඹරබොටුව
බඹරබොටුව කලවාන තරම්ම පැරණි ගමක් බව කොහොඹා කංකාරියේ දැක්වෙන කලවානේ බඹරබොටුවෙ වැද්දදනුත් යන පාථයෙන් හෙලිවේ.නාමය ඇතිවීම පිළිබඳව පැහැදිළි තොරතුරක් හෙලි නොවේ.

හෙට්ටිකන්ද
එක්තරා හෙට්ටියෙකු පදිංචිව සිටි ප්‍රදේශයක් ලෙසින් සැලකේ.

රජ්ජුරුවත්ත
වලගම්බා රජතුමා අනුරාධපුරයේ සිට පළා විත් කාලයක් එම ප්‍රදේශයේ වාසය කර ඇත.එම  නිසා රජතුමා පදිංචිව සිටි බිම් ප්‍රදේශය රජුජුරුවත්ත ලෙස හඳුන්වා ඇත. එසේම මෙය පේඩිකන්ද ට අයත්ව පැවති අතර පසුව එය ගමික්කන්ද වතුයාය සඳහා ලබාගෙන ඇති අතර, 1921 දී අලිගාල නැරඹීමට පැමිණි ඉංග්‍රිසි ආණ්ඩුකාරවර සර් විලියම් එච් මැනිං තාව කාලිකව මෙහි ලැගුම් ගත් නිසා රජ්ජුරුවත්ත යන නම යෙදෙන්නට ඇතැයිද සැලකේ.

පේඩිකන්ද/පේලිකන්ද
අතීතයේ එම ප්‍රදේශයේ පේඩි යන ජන වර්ගය වාසය කර ඇත.ඔවුන් බොහෝ දුරට කඳු කේන්ද්‍ර කොට ගෙන ජනාවාස ඉදිකරගෙන තිබේ.ඒ අනුව එම නම සකස් වෙන්නට ඇතැයි සිතිය හැකිය.මේපිළිබඳව වු අනෙක් මනය වන්නේ මෙහි මුල් පදිංචි කරුවන් දේවබ වංශික ජනයා බවත් ඔවුන් කුකුළු කොරළයේ පාලකයන් යටතේ වී වැනි බෝග වර්ග මැනීම් කටයුතු වලටත්, පැණි හකුරු කර්මාන්තයේත්, යෙදී සිටිය අතර ඒ අනුව පේඩි යන නම යෙදීම සාවද්‍ය බවත් , නිවැරදි නම වන්නේ පේලිකන්ද බවත්ය. කෙසේ වෙතත් කුල නාමයෙන් හැඳින්වූ ගම්පල නම් වෙනස් කිරීම 1970 දී මෙම ප්‍රදේශ මංත්‍රී වරයා වූ අධිනීතීඥ සරත් මුත්තෙට්ටුවේගම මහතාගේ සංකල්පයක් ුනුව සිඳුවිය. ඒ අනුව පේඩිනක්ද සමන්පුර වීමත්, නවංගොඩ විශ්කම් ගොඩ වීමත් සිඳුවිය.
සමන්පුර ජනපදය
එක්තරා කුලයක නාමයක් මුල්කොටගෙන මෙම නාමය යෙදී ඇති බව කියවේ.

කුරුඳු කොළණිය
සමන්පුර ජනපදය හා සම්බන්ඳ වේ. කුරුඳු වගාව ආරම්භ කර මෙහි ජනාවාස ඇති කිරීම නිසා මෙස් හැඳින්වේ.

මල්වලාකැලේ.
මේ පිළිබඳව එක්තරා ජනප්‍රවාදයක් පවතී. වීදියබණ්ඩාරගේ කාලයේදී අටකලංකෝරළයේ පැමිණි කාර්මිකයන්ගෙන් පැවත ආ පිරිසක් කීර්ති ශ්‍රී රාජිංහ රජුගේ කාලයේ දී රජුට පිරිනැමීම සඳහා යකඩ ආරුක්කුවක් නිශ්පාදනය කර ඇත. ඔවුන් එය සෙන්කඩගල නුවර ගෙන ගොස්  රජුට ඔප්පුකිරීමට අපේක්ෂාවෙන් සිටිමුත්, රජතුමා බැහැදැකීමට ප්‍රමාදවීමෙන් නෙගිය ආහාරපාන ආදිය අවසන්වීම නිසා  තමන් ගමටගොස් ආපසු එනතුරු  එය ආරක්ෂාකරගැනීම සඳහා වතුපිටියේ සහ බත්ගම ගෝත්‍රක පිරිසකට භාරදුනි. ඒ අතර රජු මහජනයා දැකගැනීමට පැමිණියෙන් යකඩ ආරුක්කුව භාරගෙන සිටි  වතුපිටි පළාවෙළ ගමේ පිරිස එම ආරුක්කුව යටින් ගොස් රජුට වැඳ සිටියහ. ඉන් ප්‍රසාදයටපත් රජතුමා  එම පිරිසේ නායකයා වූ මල්වලා නැමැත්තාට  යකඩ නිශ්පාදනය කළ ගම් කොටස පරිත්‍යාග කර ඇත. ඒ අනුව මල්වලා නැමැත්තා ලැබූ ගම් කොටස මල්වලා කැලේනම් විය. රත්තපුර ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලීය ලේඛණ අනුව මෙය සනාථවේ.

අඹගහවත්ත
මෙය නයිනංගල්ගොඩ හා දෙයියංගෙ ගම්ගොඩ යනුවෙන්ද හඳුන්වා තිබේ. ඒ අනුට මෙහි නයිගලාතුර නම් වූ කොටසේ තිබූ ගුහාවක බහුල වශයෙන් සිටි නිසා නපිනංගල්ගොඩ වූ බව ජනප්‍රවාදයේ එයි. නටයින්ගේ ගල නයිබංගල වූ බවත්,එහි ජනයා පදිංචිවී ගම්ගොඩක් වූ බැවින් නයිනංගල්ගොඩ ලෙසින් නම සකස් වන්නට ඇත. කලවාන ගම්මැද්දෙගොඩ විසූ රාමනායක ආරච්චිගේ පරපුරේ අයෙකු මෙහි පදිංචිවූ අතර, ඔහුගෙන් ඇරඹුනු පෙළපත නයිනංගල විදානෙලාගේ නම් විය. පැරණි රාජකාරි ලේඛණ වල මෙම ගම්වැසියන් සඳහා රාමනායක ආරච්චිගේ හෙවත් නයිනංගල විදානෙලාගේ යනුවෙන් දැක්වේ. සමන් දේවාලයේ ශිලා ලේඛණ වල සඳහන්ව නැතත් මෙම ගම සමන් දේවාලයේ පිදවිලි ගමක් ලෙස සැලකේ. ඒ අනුව මෙම ගමින් සමන් දේවාලයේ පෙරහැර කාලයට මිනුවන් පැදුරු ගෙනයාම කළයුතු විය. එහෙයින් දෙයියන්ගෙ ගම්ගොඩ යනු‍වෙන්ද හැඳින්වේ.

මැදගොඩ
කලවාන ගම මැද පිහිටි ප්‍රදේශය මැද්දෙගම්ගොඩ විය. පසුව මැදගොඩ ලෙසින් ව්‍යවහාරවේ.

වේවැල්කඳුර
මෙම ග්‍රාමයේ එක් සීමාවක් වලං කන්ද‍ට සීමාවේ.එම ප්‍රදේශයේ වේවැල් පඳුරු බොහෝසෙයින් තිබී ඇත. එම වේවැල් යාය මැදින් ගලා බසිනා දිය කඳුරක් තිබූ බැවින් වෙවැල්කඳුර ලෙසින් හඳුන්වන්නට ඇත. එක් අවස්ථාවකදී එක් වේවැල් ගසක් කැපීමට හත් දෙනෙකු සූදානම් වූ බවත් එම හත් දෙනාම එක් වැලක ඉහලට නැගගත් බවත් ඉහලම සිටි කෙනා වැල ඉහලින් කැපු අතර සියළු දෙනා බිමට පතිත වූ බව ජනප්‍රවාදයේ කියවේ.

තිනිඕවිට
ඕවිටක තිනිය ගසක් තිබූ බැවින් මෙනමින් හඳුන්වා ඇත.

හඟරංගල
මෙම ප්‍රදේශයේ එක්තරා නිවෙසක මිරිස් ඇඹරීම සඳහා යොදාගන්නා ලද මිරිස් ගලෙහි උඩ ගල නිල් මැණික් ගලක් විය . එය මැණිකක් බව එම කාන්තාව නොදත්තාය. එම නිවසට පැමිණි එක් මරක්කල වෙළෙන්දෙකු මෙම ගල දිලිසෙනු දැක මැණිකක් බව දැන එය ඉල්ලීය. එය ගඟකින් ගෙනආ ගලක් වූ අතර නැවත ගලක් එම ගංඟාවෙන්ම සොයාගත හැකි බැවින් එම ගල ඔහු‍ට ලබාදුනි. එම වෙළෙන්දා විසින් එය හොඳ රං ගලක් යනුවෙන් පවසා තිබේ. ඒ අනුව සොඳරංගල පසුවහඟරංගල යනුවෙන් භාවිතා වූ බව කියවේ.

එසේම රාජසිංහ රජු අරිට්ඨනීවෙන්ඩු පෙරැමලේගේ උපදෙස් මත  ශිව භක්තිකයෙකු ළවීමෙන් අනතුරුව බෞද්ධ භින්ෂූන් සංහාරයක් සිඳුකළ අතර පලා ආ භික්ෂූන් ඇල්ලබඩ කන්දේ පිහිටි ගල් ගුහා තුල සැඟවී වාසය කිරීම නිසා සඟ+හන්+ගල, සඟහන්ගල, සඟරන්ගල,හඟරංගල වූ බවටද විශ්වායක් ඇත.
එසේම පරංගි තොම්බුවක අංගරගල නමින් ගමක් සඳහන්වේ. එය හඟරංගල විය හැක. අංගර යනු අඟුරු වලට යෙදෙන නාමයකි.එබැවින් අඟුරු පිළිස්සූ පෙදෙසක් ලෙසින් සිතිය හැක.(යකඩ කර්මාන්තය සඳහා)
කලවාන
කලවාන පේඩිකන්ද ප්‍රදේශයේ ගල්ගත්ත දෙණිය හා රිදී ලියැද්ද නම් කුඹුරු දෙකක් පිහිටි අතර ඒ යායේ යපස් තිබූ බවත්, වරක් රාජසිංහ රජු කුකුළු කෝරළයට පැමිණි අවස්ථාවක මිනිසුන් මුණ ගැසෙන රජුවන්ගල නැමැති ස්ථානයේදී, පිරිසක් එම ප්‍රදේශයෙන් ගත් යපස් උණු කර කලයක් දුන්බවත්, එනිසා එම ප්‍රදේශය කලවාන වූ බවත් සැලකේ. එසේම වානක්(දියපාරක්)කළ නිසා කලවාන වූ බවද මතයකි. කළුපාට වානේ නිසා මෙම නම ඇතිවූ බවට ද මතයක් ඇත. කෙහොඹාකංකාරිය නැමැති පද්‍ය සංග්‍රහයේ මෙම ගම කල්ලවාන නමින් දැක්වේ.

කොස්වත්ත
කොස්ගස් බහුල ප්‍රදේශයක් බැවින් එම නම ලැබුණු බව පෙනේ. ඈත අතීතයේ සිට යකඩ කර්මාන්තය හා ප්‍රසිද්දය. මෑතක් වන තුරුත් සංහල උදළු තනවා ගැනීමට පස්දුන්රට වැසියන් මෙහි පැමිණ ඇත.

ගොල්ලුම්පාන
ගොනෙකුගේ බරට වස්තුව තැන්පත් කළ (ගොන්+ලුම්+පහන) පර්වතයක් පිහිටි බැවින්ද, ගොනුන් මුදාහරින පර්වතයක් තිබූ බැවින්ද මෙම නම බිහිවූ බැව් මත දෙකකි. මෙහි ගල මුදුනට නැගීමට ආධාර පිණිස ලී සවිකළ  කුහර දක්නට ලැබේ. අතීතයේ සංඥා කොඩි සවිකිරීමට යොදාගත් ගලක් ලෙසින්ද පිළිගත හැක.

කුකුලේගම
කුකුලේගඟ ආශ්‍රිතව ජනාවාස වූ පෙදෙක්බව සැලකේ. මෙය දිග්ගම්පොත කෝරළය කුකුලු කෝරළය බවට පත්වීමේදී පරගල විජේසුන්දර ටිකිරි කෝරාළට ලැබුණු ගම්වරය ලෙසද සැලකේ. එසේම මෙම ගම් පියස කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදී (රා.ව.1747-1782) ලන්දේසින් සමග සිඳුකළ කටුවන මාතර සටනේදී සේනාව මෙහෙයවූ සේනාපපතියෙකු වූ  කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදළි තුමාට දුන් නින්දගමේ  කොටසක් ලෙසද සැලකේ. මෙම කෝරළයේ ප්‍රධාන නගරය ලෙසින්ද බොහෝකාලයක් පැවත ඇත.පැරණි ලේකම් මිටියේ දැක්වෙන පරිදි‍ මෙම පෙදෙසේ මුදළිවරුන් දෙදෙනෙකු රාජකාරිකර ඇත.  කුකුලේගමට අයත් ගම් ලෙස ගල්කැටිය, ජාතුවංගොඩ, කඳවැල්දොල, කපුගෙගොඩ, කොඩිප්පළිකන්ද, කෝරළේගොඩ, මීපාගම, නාරගල්පිටිය, නාවලකන්ද, නවංගොඩ, නුගහේන, පල්ලෙකන්ද, වන්නිගොඩ හා වරතැල්ගොඩ දැක්විය හැකිය.

ගල්කැටිය.
කුකුලේගම වසමේ පිහිටි කුඩා ගමකි. කැටගල් සහිත පෙදෙසක් බැවින් මෙම නම ඇතිවී තිබෙන බව පෙනේ.

ජාතුවංගොඩ
ජයතුංග ගමගේ යන පිරිස පදිංචිව සිටි බැවින් මෙම නම භාවිතාවී ඇත. ජයතුංග ගම් ගොඩ යන නමයෙදී පසුව මෙසේ ව්‍යවහාර වන්නට ඇත. දැනුදු මෙම පරපුරේ අය මෙහි වාසය කරති.
කඳවැල්දොළ
මෙය කුකුලේගම වසමට අයත් වරතැල්ගොඩ ගමේම කොටසකි. මෙහි පිහිටි කඳුවැටි වලින් දොළවල් කීපයක් ගලා බසී.  මෙම ගමට එගොඩ වීමට දෙළක් හරහා කඳන් දමා වැල්වලින් ගැටගසා පාලමක් තනා තිබූ නිසා කඳ+වැල්+දොළ ලෙසින් භාවිතා වී ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සමන් දේවාලයට වර්ශයකට සුදු හකුරු කැට 1200ක් ගෙනගොස් ඔප්පුකිරීමට නියමිතව පැවති බව කියැවේ.
කපුගේගොඩ
ගම්පොළ රාජ සමයේ(රා.ව-1344-1408) වනාන්තරයක්ව පැවති මෙම ප්‍රදේසයේ ගල් ගුහාවකින් රන් සළඹක් හමුවූ බවත් එය ගම් ප්‍රදේශයට වැඩමවා  ගම් වාසීන්ට දේව ආරක්ෂාව සලසා දුන් බවත්, එම කාර්යය සිඳුකළ තැනැත්තා මීපාගම කපුරාළ යනුවෙන් හැරඳින්වූ බවත්, පැවසේ.  පසුව මෙය රජුට සැලවීමෙන් පසුව එම කපු පරපරට හැටපන් අමුණක  ගම්බිම් ප්‍රධානය කළ බවද මඛ පරපුරේ පවතී. ඒ අනුව මෙම කොරළයේ පිහිටි පත්තිනි දේවාල කිහිපයෙන් එකක් බවත්, ඈත කාලයේ පටන් ගම්මඩු මංගල්‍ය මෙහි පැවැත්වූ බවත් සඳහන්වේ. ගම්මඩු අවස්ථාවේදී මීපාගම තෙන්නකෝන් මුදළි පෙළපතේ අයෙකු  බස්නායක නිලය දරණබවද, මීපාගම කපුගේ පරපුරේ අයෙකු  කපුධූරය දරණ බවද  දැන ගැනීමට ඇත. මැහැළි කොළම හා සළඹ කෞතුක භාන්ඩවේ.

කොඩිප්පිළිකන්ද
කුකුළු කෝරළයට ඇතුලුවන ප්‍රධාන කඩවතක් ලෙස සැලකෙන ‍මෙම ගම්මානය අතීතයේ සිට විවිධ හේතූන් මත සංඥාවන් (කොඩියක්) දැමූ ස්ථානයක් ලෙස සැලකේ. කොඩිපිටිකන්ද නම් වු මෙය කීමේපහසුව සඳහා කොඩිප්පිළිකන්ද නම් විය. වීදියබණ්ඩාර පාළින්ද නුවර සිටි කාලවකවානුව තුල  කොඩිතුවක්කු හමුදාවේ ආරච්චි දූරයක් දැරූ අයෙකුට රාජ සම්මානයක් වශයෙන්  ගම්බිම් ලැබුණුබවද පෙනේ. වර්ථමානයේද එම පරපුරේ අය වෙසෙති.

අම්බලමහේන.
කොඩිප්පිළිකන්ද ග්‍රාමයට අයත් ප්‍රදේශයකි.  මෙහි මෑතකදී අම්බලමක් පැවතිබව නොපෙනේ. අතීතයේ කුකුළු කෝරළයට පිවිසෙන කඩවත් ආශ්‍රිතව අම්බලම් තිබූ බව ප්‍රකටය. පේඩිකන්ද කෙළවරෙහි වූ කරවිටිකන්දේ අම්බලම,පොතුපිටිය අම්බලම,අයගම අම්බලම, ආදිය මෙන්ම මෙහිද අම්බලමක් විය. එබැවින් අතීතයේදී සිට මේ නම ව්‍යවහාර වූ බව පෙනේ.

කෝරළේගොඩ.
කෝරළේ කෙනෙකුට ලැබුනූ  කොටසක් බව සැලකේ. එම ප්‍රධානය ලැබූ පරපුර කෝරලේගොඩ මුදියන්සේලාගේ ලෙස ජන වහරේ පවතී.

ලේකම්ගොඩ
මීපාගමට අයත් කුඩා ගම් පියසකි.රාජ්‍ය සම්මානලත් නිලධාරියෙකු වන නරසිංහ ලේකම් පදිංචිව සිටි පෙදෙස මෙය බැවින් මෙම නම ව්‍යවහාර වී ඇත. සබරගමු ලේකම් මිටියේද  එහු ගැන සඳහන් වේ. දැනුදු මෙම කොටසේ එම පරපුරේ අය ජීවත් වේ.

මීපාගම
සිංහල රජදවස මෙය මීපාලියදිගම ලෙස දැක්වේ. පසුව එය මීපාගම වී ඇත.  මිහි+පා+ගම ලෙසින් අර්ථ ගැන්වී ඇති මෙහි  ලොලව පාලනය කළ අය විසූ ගම යනු වෙන් සිතිය හැක. කුකුලු කෝරළයේ ඉපැරණි ගමක් ලෙසත්, ප්‍රදේශ පාලකයන් විසූ ගමක් ලෙසත්, සැලකිය හැක. මීපාගම තෙන්නකෝන් මුදළි ගැන පැණි ලේකම් මිටියේ සඳහන්වේ.

නවදපාය
මීපාගමට අයත් කුඩා ප්‍රදේශයක් මේ නමින් හැඳින්වේ. නවද යනු ඉතා උස්ව වැඩෙන වෘක්ෂ විශේෂයකි. එම දැවයෙන් තැනූ ප්‍රාසාදයක් මෙහි පැවති බවට මතයකි. එසේම නවද ගස් රුසක් තිබූ ප්‍රදේශයක් නිසාද මෙම නම යෙදෙන්නට ඇත.

නාවලකන්ද
නාවලගේ නැමැති පරපුරක් ගැන මැදපත්තුවේ ප්‍රදේශ ගනනාවකින් අසන්නට ලැබේ.
කුකුළු කෝරළය ජනාවාස වීමේදී  විවිධ ප්‍රදේශ වලින් ජනයා සංක්‍රමණය වූ බවත්, නාවල ප්‍රදේශයෙන් පැමිණිප පිරිසක් ප්‍රථමයෙන් මෙහි පදිංචි වූ බවත් සඳහන් වේ. ඒ අනුව මෙම ප්‍රදේශය නාවලකන්ද ලෙසින් හැදන් වූ බවත්, සඳහන්ය . පසුව මෙම පිරිස් කුකු්‍රළු කෝරළයේ විවිධ ප්‍රදේශ වලට ව්‍යාප්තව ගොස් ඇත.

නවංගොඩ(විශ්කම්ගොඩ)
මෙම ගමද මීපාගම ගමේම කොටසකි. වීදියබණ්ඩාර නැමැති ප්‍රදේශ පාලක විසින් යකඩ කර්මාන්තය සඳහා බැහැරින් කැඳවාගෙන ආ මනෝදර ආචාරියා නැමැති අය  පදිංචි කරවූ පෙදෙස් වේ.  එම කණ්ඩායමට හැටපස් අමුණක  ඉඩම් ප්‍රධානයක් ලැබී ඇත. එම පරපුරේ අය මෙ දක්වා  වාසය කරති.  නාගස් සහිත වල ගොඩැලි ප්‍රදේශයක්ද මේනමින් හැඳින්විය හැකිය. දැනට මෙම ගම්මානය විශ්කම්ගොඩ ලෙසින්ද හැඳින්වේ.

වරතැල්ගොඩ
අතීතයේ කුකුලේ ගඟ පිරී ගංවතුර ගැලූ විට මෙම ප්‍රදේශය පමණක් යට නොවී ඉතිරිවිය. එය එම අවස්ථාවලදී මෙය දැලකින් වටවූ පෙදෙසක් ලෙස දිස්වූ බැවින් වටදැල්ගොඩ යනුවෙන් ව්‍යවහාරවී ඇත. පසුව වරතැල්ගොඩ ලෙසින් ව්‍යවහාර වන්නට ඇත.

වන්නිගොඩ
මෙහි අතීතයේ සිට ඉහල වන්නිආරච්චිගේ පෙළපටත් අය මෙහි ජීවත් වූහ. එබැවින් මෙය වන්නිගොඩ වන්නට ඇත. ඒ සමගම පිහිටි පල්ලෙකන්ද ගමෙහි ජීවත්වූයේ පහල වන්නිආරච්චිගේයන පෙළපතයි. ටමම දෙපිරිසම ඇතිවූයේ කීර්ති ශ්‍රී රාජසංහ රජු දවස සිඳුවූ කටුවන මාතර සටනේදී වන්නි පත්තුවෙන් පැමිණි රජුට සහය දුන් යුද්ධ නිලධාරියෙකුන් බව කියැවේ.

වික්‍රමගේ පංගුව
ඕමත්තෙ මුදළි සමග කුකුළු කෝරළයට පැමිණි සහයකයා වූ වික්‍රමපතිරණ පරපුරේ මුල් තැනඅත්තාට එම මුදළි විසින් ලබාදුන් පංගුව මෙසේ හැඳින් වේ. පසුව මෙම පිරිස වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත.

නල්ලගොඩ
වරතැල් ගොඩ ගමේම කොටසකි. නල්ලපෙරුම ආරච්චිගේ යන පරපුර පදිංචි ප්‍රදේශය වේ. මෙම පරපුරේ අය සීතාවක රාජසිංහ රජ සමයේ මෙම පරපුර මෙහි  පදිංචි වූ බව මෙහි සැලකේ. මෙකල රජුගේ අනුසාසකයාද වූයේ අරිට්ටකීවෙන්ඩු පෙරුමාල් නැමැත්තෙකි. මෙකල බොහෝ අය ආඬි නම් භාවිතා කළහ.

අතුකෝරළගොඩ/ඕබොක්ක
අතුකෝරළගොඩ ඕබොක්ක ලෙසින්ද හඳුන්වා තිබේ. කලවාන දොළ වංගුවක(බොක්කක්) ආකාරයෙන් ගමන්ගත් ප්‍රදේශය(ඊට මැදිවූ ප්‍රදේශය) මෙසෙ හඳුන්වා ඇත.
අතුකෝරළ යනු කෝරාළ කෙනෙකු යටතේ සේවය කළ නිලධාරියෙකු වේ. ඔහු පදිංචි පෙදෙස අතුකෝරළගොඩ ලෙසින් හඳුන්වා ඇත. පසු කාලීනව මෙය අතුකෝරළ පෙළපතේ වාසභූමිය බවට පත් විය.

කංකානිගෙ වතුගොඩ(ආඬියවතුගොඩ)
කලවාන නැගෙනහිර ටකාටසක් මෙනමින් හැඳින්වේ. මහනුවර යුගයේ කංකානම්වරු ගැන අසන්නට තිබේ. ද්‍රවිඩ භාෂාව අනුව සකස් වූ නිලයකි. වැඩ කෙටසක් භාරදී ඇති පුද්ගලයෙකු ලෙස මින් අදහස් කරයි. එවැනි කංකානමක් පදිංචිව සිටි පෙදෙස කංකානිගෙ වතුගොඩ නමින් හැදින්වේ. ජනප්‍රවාදයට අනුව මහනුවර සිට රජයේ මැණික්පතල් භාරව පැමිණි කීරාළ නැමැත්තෙකුගෙන්  මෙම කංකානම් පෙලපොත ඇතවී තිබේ. මෙම පරපුරේ අයෙකු පසුව ලද ලේකම් දූරයක් හේතුවෙන් කංකානම්වරුන්ගේ කොටසක් ජයසිංහ ලේකම්ලාගේ යනුටවන් පටබැඳි නාමයක් ලබා ඇත.
සීතාවක රාජසිංහ රජුගේ කාලයේ බලයට පත් විවිධ ආඬිහු සබරගමුවේ විවිධ ප්‍රදේශවල තනතුරු දරමින් වාසය කරඇත. එම අයෙකු විසූ නිසා වරෙක මෙම පුදේශය ආඬියාවතුගොඩ යනුවෙන් හැඳින්වූවා විය හැකිය.

තපස්සරකන්ද
මහනුවර සෙනරත් රජ දවස මෙම ගම ඉස්මත්තෙහි තිබුණු ගල් ගුහාවක තවුසෙකු භාවනා කරමින් සිටිනු දුටු ගම්වැසියෝ  ඒබව ගම් ප්‍රධානියාට දැන්වූහ. මොහු භාෂා ශාස්ත්‍රය මනාව ප්‍රගුණ කළ අයෙකු බව දත් මෙහි පාලකයා  ඔහු ගමට කැඳවාගෙනවිත් විදානේ තනතුරක් ප්‍රධානය කළාය. ඔහුගෙන් ඇතිවූ පරපුර තපස්සර විදානලාගේ නම්වූ අතර එම ගම්පියස තපස්සරකන්ද නම් විය. තපස්සර විදානේ ගැන ලේකම් මිටියේද දැක්වේ. කල්යාමේදී එම පරපුරේ කෙනෙකුට සිංහල රජුගෙන් මුහන්දිරම් තනතුරක් ලැබිණ. එහෙයින් එම පරම්පරාව තපස්සර මුහන්දිරම්ලාගේ නම් විය.

ආචාරිගෙවත්ත. (අළුත්වත්ත)
අතීතයේ ලෝහ කර්මාන්තයේ නියුක්ත අය ලදිංචිව සිටි පෙදෙසක් බව බව සැලකේ.සපරගමු ලේකම් මිටියේ කුකුළුකෝරළයේ දුනුකාර වග යටතේ කලවානේ ආචාරියා යනුවෙන් කාර්මිකයෙකු ගැන සඳහන්වේ.සමහරවිට ඔහු ආචාරිගේවත්ත ප්‍රදේශයේ ජීවත්වූවා විය හැකිය.

කරව්වාන
කරව් නැමැති තෘණ විශේෂය වැවී තිබුණු බිම් කොටසක් හරහා  බැසගිය දියපාරක් නිසාත් මේ නම යෙදිය හැක.

සුදුවැලිපොත.
මේ ප්‍රදේශය හරහා වැටී තිබූ දොලෙහි සුදුවැලි සහිත ප්‍රදේශයක් වූ බැවින් මේ නම යෙදෙන්නට පුලුවන.

වෙම්බියගොඩ
මේ පිළිබ ඳව මත කිහිපයකි. පැරැන්නෝ මෙය බෙම්පියගොඩ නමින් ද හැදින්වූහ. බිය ගෙනදෙන බැවින් යකුක්ට බෙම් යනුවෙන් ව්‍යවහාර කෙරේ. ඒ අනුව යකුන්ගේ උපද්‍රවයනට ගොදුරුවූ පෙදෙස යයි පැවසිය හැක. එසේම ගඟින් වෙන්වූ කොටස වෙන්+දිය+ගොඩ  වී පසුව වෙම්බියගොඩ ලෙසින් ව්‍යවහාර වන්නටද පුළුවන.

එළවැල්ල
සුදුපාට වැලි තලාවක් පිහිටි බැවින් මෙම ගමට එළවැල්ල යනුවෙන් භාවිතා වන්නට ඇත. කුඩාවේ ආරච්චි යන පෙළපත කාලයක් තිස්සේ මෙහි වෙසේ.

අංගොඩකන්ද
අංගොඩගේ පරපුරේ අය පදිංචි වූ ප්‍රදේශය මෙසේ වන්නට ඇත.

නැකතිමුල්ල.
නැකති යනු  එක්තරා කුලයක නාමයකි. නැකත් සෑදීම (ජ්‍යෝතිෂය) රුකියාව කරගත් අය මේ නමින් හැඳින්වින. එම පිරිස පදිංචිව සිටි ප්‍රදේශය මේ නමින් හැඳින්වින.


පිටවතුරාව
අංගොඩ කන්ද , හඳුවල කන්ද, කැටවලකන්ද, යන ප්‍රදේශ වල පදිංචිව සිටි මිනිසුන් පසුව මෙම ප්‍රදේශයට පැමිණ පදිංචි වී ඇත. හඳුවැල් කන්දෙන් පැමිණියවුන් හඳුවලගේ නමින්ද, කැටවල කන්දෙන් පැමිණියවුන් කැටවලගේ නමින්ද, අංගොඩ කන්දෙන් පැමිණිඅය අංගොඩගේ නමින්ද  පරම්පරා ඇතිවූහ. මෙම පරම්පරා අදටත් ප්‍රදේශ ගනනාවකම පැතිර පවතී.
ඒ අනුව එම ප්‍රදේශ වලින් මිනිසුන් මෙම ප්‍රදේශය‍ට දඩයමේ පැමිණීම සිඳුවී තිබේ.එවැනි එක් අවස්ථාවකදී දඩයමේ පැමිණියවුන්ට වතුර පිපාසාවක් ඇතිවූ අතර ඔවුන් ගල් අතර වලක් හාරන ලදී. එහිදී උල්පතකින් වතුර පිටවූ අතර එසේ වතුර පිටවූ ස්ථානය පිට වතුරාව ලෙසින් හඳුන්වා ඇත.

වතුරාව
මුලින්ම මිනිසුන් පදින්චි ස්ථානය වූයේ පිට වතුරාවයි. එයින් පසු වතුරාව ප්‍රදේශයටද ව්‍යාප්ත වී ඇත. මුල් කාලයේ මෙය වතුරාන නමින් හඳුන්වා ඇත. වතුරාන යනු ගලාගෙන ගිය දොළ පහරකි. එම දොල පහරවල් නිසා මෙම නම සැධී ඇත.

වතුරාව ජනපදය
1958 දී  ඉඩම් හා නිවාස ලබා දීමෙන් පදින්චි කරවන ලද පිරිස් මෙහි ඇත. වතුරාවත් , පිට වතුරාවත් අතර වූ කොටසේ මෙසේ පදිංචිකරවූ අතර ජනපදයක් ඇතිකිරීම නිසා මෙ‍සේ ව්‍යවහාර විය. තේ වගාව පිණිස අක්කර දෙකයි කාලක්ලබාදී ඇත.

කිරල්දෙණිය
අරබ්බඩ හා නල්ලගස්හේන නම් වලින් මුල්කාලයේදී මෙම ප්‍රදේශය හඳුන්වා ඇත. එම නම අංකාර නොමැති බැවින් මෙම නම වෙනස් විය යුතු බැවු ග්‍රාම සංවර්ධන සමිතියේදී යෝජනා වූ අතර1980 වසරේ කිරල්දෙණිය නමින් නම එම සමිතියේදී යෝජනා වී ඇත. එම ග්‍රාමයේ පිහිටි කුඹුරක නමක් ඒසඳහා තෝරාගෙන ඇත.

පණහැටගල
සාගත අවස්ථා වලදී ඉතා අමාරුවෙන් පණ ගැටගසාගත් බැවින් පණ+ගැට+ගල  පසුව පනහැටගල වූ බවට මතයකි. තවත් මතයක් වන්නේ මෙහි විසූ එක්තරා ගැමියෙකුට ලැබුණු  වටිනා මැණික් ගලක් පණම් හැටකට විකුණූ නිසා (පනම්+හැට+ගල) පනම් හැටක් වටිනා මැණිකක් හමුවූ පෙදෙස මෙසේ හඳුන්වා ඇත.

සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2020

ජනවාරි කලවාන ප්‍රදේශයේ අභාවයට යන කලාශිල්ප සම්බන්දයෙන් පිටිගලකන්ද ප්‍රදේශවාසීන් දැනුවක් කිරීමක් සිඳු කිරීම. දිනය-2020/03/14 ...